12_අළුත් අභියෝග
මම නුවර පැත්තෙන් නවාතැනක් සොයාගන්නවට අම්මයි නංගියි කැමතිවුනා.
“ඔවු අයියා. බස් වල රස්තියාදු වෙනවට වැඩිය හොඳයි ඒ වෙලාව වැඩට ගන්ට. කොහොමටත් සෙනසුරාදා ඉරිදා ගෙදර එන්ට බැරිවෙන එකක් නෑ නේ…”
“වැඩේ තියෙන්නේ නංගී මුල් දවස්වල දවසට පැය නවයක් දහයක් වැඩකරොත් පස්සේ ඒක අඩුකරන්න අමාරු වෙනවා”
“ඉතින් මුලින්ම වෙලාවක් හදා ගන්නවා නේ…අටේ ඉඳන් හතර හමාරට වගේ”
“ඒක ජයෙත් එක්ක කතා කරගන්න ඕනෑ දෙයක්”
අම්මත් කතාවට හවුල්වුනා.
“ඔය කොම්පැනියේ ලොක්කා යාළුවෙක් නේද?”
“ඔව් අම්මා… හැබැයි යාළු කමයි රස්සාවයි ඈඳාගන්න බෑ… ඒකෙන් අපි දෙන්නටම පස්සට කරදර”
“ඇයි එයාගෙන් අහන්නෙ නැත්තේ ඉන්ට තැනක් ගැන?”
“නැත්තං අයියට පුළුවන් කාරෙකක් ගන්ට”
“දැන්ම කාර් බෑ නංගී… ආයෙ රටින් සල්ලි ගනාපු එකක් යෑ! හැබෑට මං කොහොමටත් ටවුමට යන්න වෙනවා අද හෙටම. එතකොට ජයේයි තව යාළුවෝ එකෙක් දෙන්නෙක් එක්කයි කතා කරලා බලනවා…”
“හැබැයි හොඳ තැනක් ලොක්කා - කොහෙවත් මුඩුක්කුවක නෙවෙයි, සල්ලි ඉතුරු කරන්ට කියලා … හදිස්සියට සල්ලි ටිකක් ඕනනං මා ලඟ ඇති”
මට හිනා ගියාට ඇහැට කඳුළු ආවා.
“නෑ අම්මා… මට ශේප් වෙන්න ඇති තියෙන ටික… සමහරවිට යාළුවෙක් එක්ක සතියක් විතර නවතින්න බැරිවෙන එකක් නෑ”
ඒ සැරේ අම්මා කතාකළේ හෙමින්, බොහොම සැලකිල්ලෙන්.
“ලොක්කා… දැන් මිනිස්සුන්ට ජීවිතේ අමාරුයි - ආදායම වැඩි නොවුනට වියදම හොඳටම වැඩියි… නොකිව්වට මේ දවස්වල තව කෙනෙක් ගෙදර තියාගන්න එක ඉස්සර වගේ ලේසි නෑ”
මේක බැරෑරුම් ප්රශ්නයක්. ආර්ථික දුෂ්කරතාව අපෙ ගෙදර සාමාන්යෙන් කතාවෙන මාතෘකාවක් නෙවෙයි.
“එතකොට අම්මලා?”
“අපිට අඩු ගානේ හාල් පොල් වත් ඉඩමෙන් එනවා. ටවුමේ අයට තමා ලොකුම අමාරුව”
……………………..
“මම හපුතලේ, ලබුකැලේ, උඩපුස්සැල්ලාව වැඩ කරා, අන්තිමට එස් ඩී”
“එස් ඩී?”
“සින්නදොරේ… දෙවෙනියා!”
සරසවියේ ඉඳන් ගෙදර එන මග බස් නැවතුම් පොලක වාඩිවී සිංහලෙන් බැන බැන හිටපු මිනිහා මම ඒ වෙලාවේ දැක්කේ ගෙයක් දොරක් නැති හිඟන්නෙක් වගේ. බස් නැවතුම් පොලේ ඉඳන් ගෙදර එනතුරු මිනිහා මගෙ අත තදින් අල්ලගෙන හිටියේ මම පැනලා දුවයි කියලා හිතුවා වගේ. ඒ වෙලාවේ අපි කතා කරේ නෑ. රෑ කෑම ගත්ත කඩේදිවත් මිනිහා හිටියේ සද්ද නැතුව බිම බලාගෙන.
මගෙ ෆ්ලැට් එකට ආ වහාම මම මිනිහගෙ හදිසි අවශ්යතාවයන් සපුරන්න උත්සාහ කළා. සරමක්, තුවායක්, වැඩිපුර තිබුන දත් බුරුසුවක් එක්ක නාන කාමරයට පිටත්කළේ වචනයක්වත් නැතුව.
පැය බාගෙකට පස්සේ නානකාමරෙන් එලියට ආවේ සම්පූර්ණෙන් වෙනස් කෙනෙක්. රැවුල කපලා, තෙත් කොන්ඩේ පීරලා මගෙ සරම ඇඳගෙන කමිසයක් නැතුව ආවේ මං හිතුවට වඩා ලාබාල කෙනෙක්. මිනිහා හිනාවෙලා දකුණු අත ඉස්සරහට දැම්මා.
“මලික් උඩකැන්ද… තැන්ක්යූ මාව බේරගත්තට… බාත් රූම් එකට… සරමට… රේසර් එකට…”
“ලලිත් මීගස්තැන්න… ප්රශ්නයක් නෑ. මේසේ උඩ තේ තියෙනවා. නැත්නම් බීර එකක් බොමුද? එතකොට තොරතුරු කතා කරගන්න පුළුවන්”
“තැන්ක්යූ… අ… තැන්ක්යූ!”
අපි බීර දෙකක් අරගෙන බැල්කනියට ගියා. නමුත් කතාව කොහෙන් පටන්ගන්නද කියලා තේරුමක් නෑ.
“මලික් පොඩ්ඩක් ඉන්නවද… මේ බිල්ඩිමේ තව ලංකාවේ කෙනෙක් ඉන්නවා. මම ටක් ගාලා ගිහින් නීලා එක්ක එන්නද? එයාටත් මලික්ගෙ කතාව අහන්න ඕනවෙයි… ෆ්රිජ් එකේ චීස් එහෙම තියෙනවා හපන්න මොකවත් ඕනනම්… කාමරේ ටී ශර්ට් තියෙනවා; එකක් ඇඳගත්තොත් හොඳයි!”
නීලා වහාම කකා හිටපු පිඟාන තව පිඟානකින් වහලා මාත් එක්ක උඩ තට්ටුවට ආවා. හැදින්වීම් වලින් පස්සේ, නීලට වයින් වීදුරුවක් දීලා මම මලික්ට ආරාධනා කළා එයාගෙ කතාව කියන්න.
“කොහෙන් පටන්ගන්නද කියලා දන්නෙ නෑ… මට පිස්සු හැදුනේ ලඟදී… හැබැයි මතකේ නරකක් නෑ… මට තේරෙන්නෙ නෑ ලලිත්… නීලා…”
“කවද්ද ලංකාවෙන් පිටත්වුනේ? … නෑ ඊට ඉස්සර… මේකයි මගේ කතාව - ලලිත්කුමාර මීගස්තැන්න, ගම නුවර කිට්ටුව, පවුලේ ඉන්නේ අම්මයි, නංගියි මල්ලියි විතරයි, බැඳලා නෑ, මීට අවුරුදු හතරකට ඉස්සර මෙහෙ ආවේ, හැදෑරුවේ භූ විද්යාව, ගිය මාසේ අන්තිමට ලංකාවේ යන්න හිටියේ… මලික්ට පුළුවන්ද එහෙම සමරි එකක් දෙන්න?”
මලික් කල්පනාවෙන් බීර උගුරක් බිව්වා.
“රයිට්. මගෙ නම මලික් ෆ්රැන්සිස් උඩකැන්ද, ඉපදුනේ හොරනට කිට්ටුව, අම්මයි තාත්තයි ඇරුනහම ආයෙ මල්ලී විතරයි… “
හොරන පලාතේ ඉඩම් හිමි පවුලක ඉපදුන මලික් කොළඹ විද්යාලයක ඉගෙනීම ලැබුවා. පොත පතේ වැඩ වලට වඩා ක්රීඩාවට දක්ෂ ඔහුගේ ආශාව වූයේ වතුකරයේ ‘ප්ලාන්ටර්’ කෙනෙක් වීමයි. ඒ අපේක්ෂාව සපුරා ගත්තේ අවුරුදු හය හතක් හොඳටම මහන්සිවෙලා. වයස හතලිහ පහුවුනත් තවම නිරෝගී ඇඟකුත් කඩවසම් පෙනුමත් ඇති මලික් දැන් අවිවාහකයි. කෙටි කාලයක් විවාහවී හිටියත් එය දික්කසාදයකින් කෙලවර වූයේ මීට අවුරුදු පහකට ඉස්සර. නිවාඩුවකට බ්රිස්බන් ආවේ පරණ ප්ලාන්ටර් යාළුවෙකුගෙ ආරාධනයෙන්.
“මගෙ ලංසි යාළුවා ඉන්නේ… හිටියේ … මේ කිට්ටුව. මම එයාපෝට් එකේ ඉඳන් මිනිහට ටෙලිෆෝන් කරා… ටිමති කිව්වේ මුංකිරිබත් හදාගෙන ඉන්නේ, ටැක්සියක එන්න කියලා… මම ටැක්සියෙන් බැහැලා බෑග් එකත් එලියට ගත්ත ගමන් කලංතේ වගේ හැදිලා පාර අයිනේ වැටුනා - නිදි මරපු නිසා වෙන්න ඇති. හැබැයි මට පුදුම ටැක්සි කාරයා මාව දාලා ගිහින්! තවම හොඳටම එලිය වැටිලා නෑ… මම ගිහින් දොරට ගැහුවා…”
නීලයි මමයි සද්ද නැතුව හිටියා මලික් කතාව කියන්න ඉඩ දීලා.
“ටිමති කියලා කෙනෙක් එතන නෑ… ගෙදර නොම්බරේ මට මතකයි. එතන හිටපු ගෑනිට තරහ ගිහින් උදේ පාන්දර දොරට ගහනවට… මම කවදාවත් ඔස්ට්රේලියාවේ ඇවිත් නෑ. හැබැයි එංගලන්තේ ගිහින් පුරුදු නිසා මම ගෑනිගෙන් ඇහුවා කොහෙද ලඟම පබ්ලික් ටෙලිෆෝන් එකක් තියෙන්නේ කියලා. මට හිතුනේ ආයෙත් ටිමතියට කෝල් එකක් දෙන්න… ගෑනී කියපු විදිහට මම එතන හන්දිය… හවස ලලිත් හම්බවුන හන්දියට ගිහින් ටෙලිෆෝන් කරා… මොන බම්බුවක්… සොරි!... මොකක් වෙලාද මන්දා එහෙම නොම්බරයක් නෑ කියලා රෙකෝඩින් එකක්!”
මලික් තවත් ලොකු බීර උගුරක් බිව්වා. මිනිහගෙ ඇස් දිලිසෙනව ලයිට් එලියට; කඳුළු වලට් වැඩි දුරක් නෑ. තව ප්රශ්න අහනවට වැඩිය අපෙ කතාව කිව්වොත් හොඳයි කියලා මට හිතුනා
“මලික්… මලික්ට පිස්සු හැදුනෙ නෑ… නීලටයි මටයි වෙලා තියෙන දේමයි මලික්ටත් වෙලා තියෙන්නේ. නීලා… මලික්ට කියනවද අපි දැනට දන්න දේ… මයිකල්, සුරාජ් එහෙම අල්ලලා? මම කෑම මේසේ ලෑස්ති කරන්නම්”
දෙන්නට තව බීම ටිකක් දීලා මම කුස්සියට ආවා. මලික්ට මගෙ ෆ්ලැට් එකේ නවතින්න පුළුවන්, බිම හරි දිග පුටුවේ හරි නිදාගන්න කැමතිනම්. අපෙ ටෙලිකොන්ෆරන්ස් එකට මිනිහත් එකතු කරගන්න ඕන.
……………………………..
මම ජයේට ටෙලිෆෝන් කළේ නුවර මාකට් එකෙන්. උත්තර දුන්නේ ලක්මිනි.
“හලෝ ලක්මිනි - මේ ලලිත් මීගස්තැන්න. ජයේ ඉන්නවද?”
“ටවුමට ගියා… එනකොට ටිකක් වෙලා යයි කිව්වා”
“මම ඉන්නේ ටවුමේ. කොහාටද ආවේ දන්නවද?”
“මට හොදටම ශුවර් අර බිල්ඩින්ස් ඔෆිස් එක තැපැල් කන්තෝරුව ලඟ - ඒකේ අපොයින්මන්ට් එකක් තිබුනා දහය හමාරට… ලලිත් එනවද අපිත් එක්ක වැඩකරන්ට?”
“එහෙම තමා හිතාගෙන ඉන්නේ”
“හරී හොඳයි… ජයේ හොඳටම සතුටුවෙයි!”
මම ජයෙත් එක්ක තේ එකක් බොන වෙලාවේ නවාතැනේ කතාව කිව්වා.
“උඹ කුන්ඩසාලේ පැත්තෙන්ද තැනක් හොයන්නේ? නැතුව ටවුම කිට්ටුවද?”
“කුන්ඩසාල පැත්ත නිස්කලන්ක වුනාට ටවුමට කිට්ටුනම් හොඳයි. මම වීකෙන්ඩ් එකට ගෙදර යනවා පළවෙනි මාසෙවත්… අනික අම්මා කියන විදිහට ‘මුඩුක්කුවක්’ වෙන්න බෑ!”
“මං දන්න එකෙක්ගෙ ගෙස්ට් හවුස් එකක් තියෙනවා, පොඩි ෆ්ලැට් එකකුත් එක්ක. ඒ ෆ්ලැට් එක පාවිච්චි වෙන්නේ පෙරහැර කාලෙට විතරයි… කතා කරලා බලමුද?”
“ගණන් කොහොම වෙයිද?”
“මං හිතුවේ උඹට පළවෙනි මාසේ පඩිය පටන්ගන්නකොට දෙන්ට… මට මතකයි මම රට ගිහින් එනකොට ආවේ අතේ සතේ නැතුව! දැන් දෙන්ට පුළුවන් රස්සාව ගැන ආයෙ ප්රශ්න නැතිනම්”
“තැන්ක්යූ, ඒක ලොකු උදව්වක්. අම්මගෙන් සල්ලි ඉල්ලන්න ඕන නෑ! එක ප්රශ්නයක් - වැඩ කරන වෙලාවල් තියෙනවද? මං කියන්නේ 9-5 වගේ?”
“මම වැඩ කරන්නේ ජොබ් චාට් එකේ හැටියට. වැඩ වැඩි වෙනකොට දවස්ට පැය දහය දොලහ වැඩ; නැතිකොට පැය තුන හතර වෙන්ට පුළුවන්. මම උඹෙන් ඒක බලාපොරොත්තු වෙන්නෙ නෑ. නමුත් වැඩ වෙන්නේ ඔර්ලෝසුව කියන විදිහට නෙවෙයි… මට පුළුවන් උඹට සති අන්තයේ වැඩ නෑ කියලා පොරොන්දුවක් දෙන්ට - මට මොන වැඩ තිබුනත්. නමුත් හදිසි වැඩ තියෙනකොට හතේ ඉඳන් හතට වෙන්ට පුළුවන්”
“රයිට්… වෙන කන්ඩිශන් මොනවත් තියෙනවද?”
“රස්සාවේ බොන්ට බෑ; සිගරට් බොනවානම් ජම්බුගහ ලඟ විතරයි… වෙන කිසි කෙනෙක් කන්තෝරුවට එක්ක එන්න බෑ - උඹෙ අම්මා වුනත්! එක කොම්පැනියකට කරන වැඩ ගැන වෙන කොම්පැනියක් - වෙන කිසි කෙනෙක් - එක්ක කතා කරන්න බෑ - ස්ටෑන්ඩඩ් කොන්සල්ටිං ප්රින්සිපල්”
……………………………..
ටෙලිකොන්ෆරන්ස් එකට අපි ලෑස්තිවුනේ අපෙ තට්ටුවේ ටෙලිෆෝන් එක ලඟට පුටු තුනක් තැබීමෙන්. සටහන් පොත නීලගෙ බාරේ - කෝපි මගෙ ගානේ. හරියට බ්රිස්බන් වෙලාවෙන් රෑ අටට ටෙලිෆෝන් එක නාදවුනා. මම රිසීවරය අතට ගත්තේ ඒක දෙවරක් වදින්න ඉස්සර.
“හලෝ…?”
සුරාජ්ගෙ උත්තරය පැහැදිලි ලෙස ආවා.
“හලෝ ලලිත් - මේ සුරාජ්. මම ඉස්සරවේලාම බ්රිස්බන් වලට කොනෙක්ට් කරේ. නීලත් ඉන්නවද?”
“හලෝ සුරාජ් - මේ නීලා. අපිත තවත් ලාංකිකයෙක් අද ඉන්නවා; මලික් උඩකැන්ද”
“හලෝ -මලික් වෙල්කම්! මම ලලිතුයි නීලයි එක්ක ගිය සතියේ කතා කරලා අපි තීරණය කරගත්තේ මේ ටෙලිකොන්ෆරන්ස් එක කරන්න. මම අනික් අයත් සම්බන්ධ කරගන්නතුරු ටිකක් ඉවසගෙන ඉන්නවද?”
ඒ ටෙලි සාකච්ඡාව මා හිතුවටත් වැඩිය සාර්ථක වුනා, වඩාම සුරාජ්ට පින් සිද්ධවෙන්න. සුරාජ් සාකච්ඡාව දක්ෂ ලෙස හසුරුවා එකිනෙකාගේ තොරතුරු ඵලදායී ලෙස බෙදා හදා ගැනීම පහසු කළා. අපි හතරදෙනා හැර තවත් හතර දෙනෙක් සාකච්ඡාවට එකතුවුනා. ඇඩිලේඩ් වලින් තිලකා පීරිසුත්, සිඩ්නි වලින් අනුලා බෝගොඩත් මෙල්බන් වලින් රවි ආනන්දප්පත් පළමු විනාඩි පහ ඇතුලත අපිට සම්බන්ධවුනා. තවත් විනාඩි පහකට පස්සෙයි පර්ත් වලින් චාමර පඟරගම්මන ආවේ “සමාවෙන්න වෙලා ගියාට - ගෙදර වෙන එකෙක් ෆෝන් එක පාවිච්චී කරගෙන හිටියා!”
සුරාජ් පළමුවෙන්ම අපිට එකිනෙකා හඳුනා ගැනීමට තම තමාගේ විස්තර කෙටියෙන් කියන්න අනුබල දුන්නා. ඒක මම බලාපොරොත්තුවුන දෙයක්. නමුත් මම බලාපොරොත්තු නැති දෙයක් සුරාජ්ගෙ මුවෙන් ඊ ලඟට ආවේ.
“මට තේරෙණවා අපෙ හිතේ වැඩකරන ලොකුම ප්රශ්නේ ලංකාවට මොකද වුනේ කියලා බව. ඒ එක්කම, අපිට ආයෙත් ලංකාව දකින්න ලැබෙයිද කියන ප්රශ්නේ. නමුත් මම කැමතියි ඊට ඉස්සර වෙන අදහසක් ඉදිරිපත් කරන්න, ඔස්ට්රේලියාවේ දිගු කාල පදිංචිකාරයෙක් හැටියට … අපේ කන්ඩායමේ අයට තියෙන හදිසි අවශ්යතා ගැන…. මට මතකයි මම ආපු දවස්වල හරියට් ඉන්න තැනක්, සල්ලි එහෙම නැතුව විඳපු දුක… මම මගෙ ටෙලිෆෝන් නොම්බරෙයි ඇඩ්රස් එකයි දෙන්නම් - ඕනම කරදරයකට මට කතා කරන්න පුළුවන්”
“මම ලංකාව එක්ක වැඩි සම්බන්ධයක් දැන් නැතිවුනත් මට මතකයි අපි නැතිබැරිකම් ප්රසිද්ධියේ කියන ජාතියක් නෙවෙයි කියලා. ඒ නිසා ඒ ගැන දැන් කිසි දෙයක් කියන්න එපා - මේ සාකච්ඡාවෙන් පස්සේ ඒක කරමු”
මුළු සභාවම නිහඬවුනා. නිහඬතාවය බිඳදැමීම මම බාරගත්තා.
“ස්තුතියි සුරාජ්. ඔයාගෙ ඔෆර් එක හරිම ජෙනරස් - මම බලාපොරොත්තු වුනෙ නෑ මෙහෙම දෙයක්. අ… නැවතත් ස්තුතියි… සුරාජ් හදිසි උවමනා උදව් සපයන්න ඉදිරිපත්වෙලා ඉන්න නිසා මං හිතන්නේ අපි අපේ රටට මොකදවුනේ කියන ප්රශ්නය ඊලඟට සලකලා බලන්න ඕනෑ කියලා. අපි දැනට එකතු කරලා තියෙන තොරතුරු - නීලා සටහන්කර තිබුන තොරතුරු - සේරම සුරාජ් ලඟ තියෙනවා. මං කැමතියි ඉදිරියට අපි ගන්න ක්රියාමාර්ග ගැන අදහස් විමසලා බලන්න”